අති උතුම් ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේටත්, අති උතුම් ශ්‍රී සද්ධර්මයටත්, අති උතුම් ආර්ය මහා සංඝරත්නයටත් පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් නමස්කාර වේවා

෴෴෴෴෴෴෴෴෴෴

අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො
පුබ්බා කොටි න පඤ්ඤායති

අවිජ්ජා නීවරණානං සත්තානං
තණ්හා සංයොජනානං සන්ධාවතං සංසරතං

එවං දීඝරත්තං වො භික්ඛවෙ
දුක්ඛං පච්චනුභූතං
තිබ්බං පච්චනුභූතං
බ්‍යසනං පච්ච්නුභූතං
කටසි වඩ්ඪිතා

ලොව්තුරු ශාන්තිනායක ඒ අසිරිමත් වූ අමාමෑණි සම්මා සම්බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට, අසාර භවික සත්වයින් ලෙස ඔබ අප සැවොම අගක් මුලක් නොපෙනෙන සංසාර ගමනක බොහෝ කාලයක් පුරාවට සංසරණය කරමින් කළ එකම දේ අනන්ත අපමණ දුක විඳිමින් සොහොන් බිම් තර කිරීම පමණයි!

සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇස් ඉස් මස් ලේ දන් දෙමින් නොවිඳිනා දුක් විඳ ලොවුතුරා බුද්ධත්වයට පත් වූ ඒ මහා අනාතනාථයන් වහන්සේ, තමන්වහන්සේ අවබෝධ කළ ධර්මය සිව්පිළිසිඹියා බුද්ධ ඥාන වලින් ලෝකයාට විග්‍රහ කළේ ඥාන සම්ප්‍රයුක්ත, උත්කෘෂ්ඨ භවාංග චිත්තයක් සහිත ව උපන් දුර්ලභ වූ මිනිසත් භවයේ අග්‍ර ඵලය නෙලා ගෙන ඒ නිස්සාර සංසාර දුකින් සදාතනිකව මිදී නිදහස් වීමටයි. ඒ අසිරිමත් වූ අසමසම ගුරුවර බුදුපියාණන් වහන්සේ විසින්, පහසුවෙන් අවබෝධ කළ හැකි ආකාරයෙන් දේශනා කළ, ප්‍රඥාවට පමණක්ම ගෝචර වන උතුම් ශ්‍රී සද්ධර්මය, උතුම් වූ ආර්ය මහා  සඟ  පරපුර විසින් දිවි දෙවෙනි කොට රැක දුන් ත්‍රිපිටක බුද්ධ වචනයට අනුව ම, අති ගෞරවනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ  විසින් සිදුකරනු ලබන  දහම්  සාකච්ඡා සහ අනුශාසනා අනුසාරයෙන් මෙකල අසන්නට ලැබීම මේ ලද දුර්ලභ වූ මිනිසත් බවයටත් වඩා පරම දුර්ලභ බව කිව යුතුමය.

සාරිපුත්ත-මොග්ගල්ලාන ආර්ය මහා සඟ පරපුරෙන් පැවත එන, ඒ උතුම් යතිවරයාණන් වහන්සේ, කල්‍යාණ මිත්‍ර අති ගෞරවනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ විසින් අසරණ අනාථ ලෝක සත්වයා කෙරෙහි මහත් වූ දයානුකම්පාවෙන් අර්ථ ධර්ම නිරුක්ති පටිභාන සහිත ව, දේශනා ප්‍රාතිහාර්යෙන් යුතුව වෙහෙස නොබලා කරන්නාවූ  ඒ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාවන් උතුම් ධර්ම දානයක් ලෙසින් ඔබ සැමට පිළිගැන්වීම  මෙම වෙබ් අඩවියේ අරමුණයි.

මේ සංසාර ගමනේ නොයෙක් වර ඔබටත් අපටත්, බුදුපියාණන් වහන්සේලා, පසේ බුදුපියාණන් වහන්සේලා, අරහතන් වහන්සේලා අනන්තවත් මුණගැසෙන්නට ඇති. ඒ සත්පුරුෂයින්ගෙන් අනුසාසනා අවවාද ලබන්නටත් ඇති. ශ්‍රී සද්ධර්මය ඇසුණු එවන් අවස්ථාවල, ධර්මය පසෙකින් තබා නිස්සාර සංසාරය ගැන ඕනෑ තරම් වාද විවාද කරගන්නටත් ඇති. විවිධාකාර දෘෂ්ඨි වලින්, මතිමතාන්තර වලින්, අත්තනෝමත වලින් හිස පුරවා ගෙන මුලා වූ සිතට වහල් වී කටයුතු කරන්නටත් ඇති. ඒ සංසාරය පුරාවට කළ අඥාන කම් මෙතෙක් යැයි කියන්නට බැහැ. ඒ අඥාන බව නිසාම ශ්‍රී සද්ධර්මය අසා අවබෝධ කරගෙන, අමරණීය වන්නට තිබූ අවස්ථා ඕනෑ තරම්  මග හැර ගන්නට ඇති.

එමනිසා මරණයේ අභාග්‍යය නැවත වරක් හිමි කර නොගන්නට, අසිරිමත් වූ සම්මා සම්බුදුපියාණන් වහන්සේ වැඩි මග යන, ශ්‍රී සද්ධර්මය ගුරුවරයා කරගත්, නිවන් මග සොයන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බුද්ධ ශ්‍රාවකයින් ලෙසට විවෘත මනසකින් යුතුව උතුම් වූ නිර්වාණ ශාන්තිය පිණිසම මෙම වෙබ් අඩවිය පරිශීලනය කිරීමට අධිෂ්ඨාන කර ගනිමු.

හන්ද’දානි භික්ඛවෙ ආමන්තයාමි වො
වයධම්මා සඞඛාරා අප්පමාදෙන සම්පාදෙථ

ඒ අසිරිමත් වූ අමාමෑණී ලොව්තුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිරිනිවන් වඩින්නට පෙර කළ ඒ බුද්ධ ආඥාව හිස දරාගෙන මේ ඝෝර කටුක සංසාර දුකෙන් එතෙර වීමක් බලාපොරොත්තුවෙන, නැවතීම සොයන, සිතේ ශාන්තිය සොයන, නිවීම සොයන, සියලු සත්පුරුෂ ප්‍රඥාවන්තයින්ට මෙම වෙබ් අඩවිය  උපකාරයක්ම  වේවා!

මහා කාරුණික වූ ලොව්තුරු තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළා වූ අති උත්තරීතර වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය හොඳින් අසා, නුවණින් මෙනෙහි කර ධර්මාභිසමය, ධර්මාවබෝධය ඇති කර ගෙන,  සියලු රාග ද්වේශ මෝහ නසමින් භයංකාර ඝෝර කටුක සංසාර දුකෙන් සදහටම මිදී නිදහස්ව, ඒ සදාතනික වු අජරාමර වූ අමාමහ නිර්වාණ ශාන්තියෙන් ම සැනසෙනවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් යුතුවම මෙම වෙබ් අඩවිය පරිශීලනය කිරීමට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිමු.

cercledlogo

සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවනින් නිවී සැනසෙත්වා…!!!

සාධූ ! සාධූ !! සාධූ !!!

෴෴෴෴෴෴෴෴෴෴

ඔබ පිවිස සිටින්නේ සුත්‍ර දේශනා සහ අභිධර්ම දේශනා ඇතුළු අති විශාල දේශනා දත්ත ගබඩාවකින් සමන්විත වෙබ් අඩවියකටය.

ඔබ නවකයකු නම් ගෞරවනීය මාපලගම සුසිලවංශ හිමියන් විසින් දැනට සිදුකර ඇති මූලික දහම් දේශනා වලට පළමුව හැකි තරම් සවන්දෙන මෙන්  කාරුණිකව ඉල්ලා සිටිමු.